Sinhala – The Heart of Sri Lankan Folktales https://slfolktales.com Connecting Generations Through Sri Lankan Folktales Sun, 15 Dec 2024 06:17:28 +0000 en-US hourly 1 https://wordpress.org/?v=6.7.1 https://slfolktales.com/wp-content/uploads/2024/10/cropped-Sri-Lanka-1-32x32.png Sinhala – The Heart of Sri Lankan Folktales https://slfolktales.com 32 32 වරකා ගස https://slfolktales.com/%e0%b7%80%e0%b6%bb%e0%b6%9a%e0%b7%8f-%e0%b6%9c%e0%b7%83/ Tue, 03 Dec 2024 18:50:55 +0000 https://slfolktales.com/?p=971 එකමත් එක කාලෙක සරුසාර ගමක හරිම කරුණාවන්ත ගමරාළ කෙනෙක් ජීවත් වුණා. මේ ගමරාළට
පලතුරු, ධාන්‍ය වර්ග පිරුණු ගොඩාක් සරුසාර වත්තක් තිබුණා. මේ වත්තේ කොනක තිබුණා හතර
වටේටම සුවඳ විහිදෙන රසම රස ගෙඩි ගොඩාක් හැදුණු උස පැණි වරකා ගහක්.
ඔන්න ඉතින් දවසක් ගමරාළ මේ වරකා ගහෙන් ඉදුණු ගෙඩියක් කඩා ගන්න හිතලා ගහ ගාවට ගියා. ගහ
ළඟට ගියපු ගමරාළට පෙනුනා කවුරු නමුත් ගහේ අත්තක් උඩ ඉන්නවා කියලා.
ඉතින් හරිම කුතුහලයෙන් ගමරාළ මෙහෙම ඇහුවා. “කවුද ඔය මගේ ගහ උඩ ඉන්නේ? ඔහේ මොනවද
ඔතන කරන්නේ?”
එතකොට ගහ උඩින් මෙහෙම උත්තරයක් දුන්නා.
“මම තමා මේ ගහට අරක් ගත්ත යකා. මේ ගහේ ගෙඩි අයිති මටයි. ඒ නිසා මම ආවේ මේ ගහේ ගෙඩි
කන්න.”
ගමරාළ නම් ජීවිතේට වරකා ගස්වලට අරක් ගත්ත යක්ෂයෙක් ගැන අහලා තිබ්බෙ නෑ. ඉතින් මේ ගැන
සැකයක් ආපු ගමරාළ ගහ උඩ ඉන්නෙ ඇත්තටම යකෙක්ද කියලා බලා ගන්න උපායක් කල්පනා කළා.
වටේට තිබුණු වේලුණු දර කෝටු ටිකක් එකතු කරගත්ත ගමරාළ වරකා ගහ යට ගිනි ගොඩක් ගැහුවා.
ඊට පස්සෙ දුම සැරට එන්න ඒ ගිනිගොඩට වේළුණු මිරිස් කරල් කිහිපයකුත් දැම්මා.
අර ගිනි ගොඩෙන් ආපු දුම පිරිලා කාට උනත් තවත් ගහ උඩට වෙලා ඉන්න නම් පුලුවන් උනේ නෑ. හොඳටම
කහිමින්, කිවිසුම් අරිමින් යකා ගහෙන් බිමට බැස්සා.
එතකොට තමයි ගමරාළ දැක්කේ ඒ යකෙක් නෙවෙයි රස වරකා ගෙඩියක් කන්න හොරෙන් ගහට නැගපු
තමන්ගේ අසල්වැසියෙක් කියලා.
ලැජ්ජවට පත්වුණු අසල්වැසියා ගමරාළගෙන් සමාව ගත්තා. තමන්ගේ අසල්වැසියා අවංකවම පසුතැවෙන
බව දැකපු කරුණාවන්ත ගමරාළ ඔහුට සමාව දීලා වරකා පලුවකුත් දුන්නා. ඊට පස්සෙ ඒ පලුවේ ඇට වලින්
වරකා පැල හදා ගන්න හැටිත් කියලා දුන්නා.

0:00

]]>
පොහොසත් මිනිසාගේ බොරුව https://slfolktales.com/%e0%b6%b4%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b7%83%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b6%e0%b7%9c%e0%b6%bb%e0%b7%94%e0%b7%80/ Tue, 03 Dec 2024 18:47:55 +0000 https://slfolktales.com/?p=966 ඔන්න එකමත් එක කාලෙක දුර ගමක හිටියා දුප්පත් පවුලක්. මේ පවුලට හිටියා
ඔවුන් ආදරෙන් හදාගත්ත එළදෙනක්. ඒ ගෙදරට අල්ලපු වත්තේ පෝසත්
මිනිසෙකුත් වාසය කළා.
එක දවසක මේ ගෙදර අය ගමනක් ගියපු වෙලාවක එළදෙනට ලස්සන පැටියෙක්
ලැබුණා. පුංචි වසු පැටියා වත්තෙ එහේ මෙහෙ දුව පැන ඇවිදිමින් ඉන්න විදිහ
දැකපු අල්ලපු ගෙදර පොහොසත් මනුස්සයා ගෙදර කවුරුත් නති වෙලාවේ වහු
පැටියාව අරන් යන්න තීරණය කළා.
තන්හාකාර මේ මනුස්සයා වසු පැටියා අරන් ගිහින් තමන්ගේ විශාල ගොනා
අසලින් බැඳල තියාගත්තා.
තමන්ගේ ගමන ඉවර කරලා ආපහු ගෙදර ආපු පවුලේ අය එළදෙනට පැටිය
ලැබිලා බව දැක්කත් වහු පැටියා දකින්න නැති නිසා ඔවුන් පුදුම වුණා.
හැමතැනම හොයපු වහු පැටිය අන්තිමේ දී අර පොහොසත් මනුස්සයාගෙ වත්තේ
බැඳලා ඉන්න බව මේ අය දැක්කා.
ඉතින් මේ අය එහෙට ගිහින් වහු පැටියා ඉල්ලා හිටියා.
“ඒ මගේ ගොනාට ලැබුණු වහු පැටියා. මම කොහොමද ඒ පැටියාව ඔයාලට
දෙන්නෙ” කියලා ඒ පෝසත් මනුස්සයා කිව්වා.
අසරණ වුණු පවුලේ කට්ටිය ඉතා දුකින් මේ ගැන පැමිණිලි කරන්න ගමේ
මුලාදෑනියාව හම්බෙන්න ගියා. ඔවුන් ගම් මුලාදෑනියාට හැමදේම පැහැදිලි කරලා
දුන්නට පස්සෙ මුලාදෑනියා තීරණය කළා මෙයට අදාළ හැමෝම ගෙන්වලා මේ
ගැන නඩුවක් අහන්න.
නඩුව අහන දවසේ අර පොහොසත් මනුස්සයා තමන්ගේ හරකාට ඒ වහු පැටියා
ලැබුණු නිසා ඒ වහු පැටියා අයිති තමන්ට කියලා දිගින් දිගටම තර්ක කළා.
ගම්මුලාදෑනියා පොහොසත් මනුස්සයාගේ පැත්තට පක්ෂව තීන්දුව ලබා දුන්නා.

ඉතින් අර අසරණ පවුල බොහොම දුකෙන් ගෙදර ගියා.

මේ ගෙදර පොඩි දරුවා වහු පැටියා නැතිව තනිව ඉන්න එළදෙන දිහා බලාගෙන
හොඳටම ඇඬුවා. ළඟ කැළේ හිටපු නුවණක්කාර නරියෙක් මේ හැඬීම ඇහිලා
හෙමින් හෙමින් මේ දරුවා ළඟට ආවා. නරියා දරුවාගෙන් ඇහුවා අඬන්නෙ
මොකද කියලා .
දරුවා සිද්ධ වුන දේ නරියාට කිව්වාම නරියා එයාලට උදව් කරන්න කැමති වුණා.
“දුක් වෙන්න එපා. මම ඔයාලට ඒ පැටියාව ලබාගන්න උපායක් කියලා දෙන්නම්.”
ළමයාට කිව්වා.
තමන්ගේ එළදෙනට වහු පැටියා ලැබෙනවා දැක්ක නරියෙක් ඉන්න බව
ගම්මුලාදෑනියාට ගිහින් කියන ලෙසට නරියා මේ පවුලට උපදෙස් දුන්නා.
නරියාගේ උපදෙස් අනුව මේ පවුල ගිහින් ගම්මුලාදෑනියාට මේ සාක්කිකරු ගැන
කිව්වා.
ඉතින් ගම්මුලාදෑනියා නරියව ඊළඟ දවසේ එක්ක එන්න කියල කිව්වා.
ඊළඟ දවසේ නරියා ගම්මුලාදෑනියා හම්බෙන්න ආවේ නැහැ. ඒ වෙනුවට නරි
දෙන එව්වා..
හොඳටම තරහ ගියපු ගම්මුලාදෑනියා නරියා ආවේ නැත්තේ ඇයි කියලා ඇහුවම
නරි දෙන නරියාට ඊයේ පැටවෙක් ලැබුණූ බවත් ඒ පැටියා තනියම දාලා එන්න
බැරි නිසා ඒ වෙනුවට තමන් ආ බවත් කිව්වා.
“ තමුන් හිතාගෙන ඉන්නේ මම මහ මෝඩයෙක් කියලා ද? පිරිමි සත්තුන්ට පැටව්
ලැබෙන්නෙ කොහොමද? ගම්මුලාදෑනියා කෑ ගැසුවා.
“එහෙනම් කොහොමද අර පොහොසත් මනුස්සයාගේ ගොනාට මේ වහු පැටියා
හම්බ වුණේ? නරි දෙන තර්ක කළා.
පෝසත් මනුස්සයාගේ පැත්තට කතා කරලා තමන් කරපු වරද ගම්මුලාදෑනියට
තේරුම් ගියා.
මේ වරද නිවැරදි කරගන්න ගම්මුලාදෑනියා පෝසත් මනුස්සයාට වහාම මේ වහු
පැටියා දුප්පත් පවුලට ආයෙත් බාර දෙන්නත් ඔහුගේ හොරකමට දඬුවමක්
වශයෙන් රත්තරන් කාසි පනහක් ඒ පවුලට ගෙවන්නත් අණ කළා.

හුඟාක් සතුටට පත් වුණු දුප්පත් පවුල තමන්ට කරපු උදව්වට නරියාටයි නරි
දෙනටයි ගොඩාක් ස්තූති කරා. අවංකකමයි, දක්ශකමයි දවසක අනිවාර්‍යෙන් ජය
ගන්න බව දැනගත්ත ඒ දුප්පත් පවුල වහු පැටියත් අරන් හරිම සතුටෙන් ගෙදර
ගියා.

0:00
]]>
රජතුමා සහ මල් පැළය https://slfolktales.com/%e0%b6%bb%e0%b6%a2%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b7%8f-%e0%b7%83%e0%b7%84-%e0%b6%b8%e0%b6%bd%e0%b7%8a-%e0%b6%b4%e0%b7%90%e0%b7%85%e0%b6%ba/ Tue, 03 Dec 2024 18:37:11 +0000 https://slfolktales.com/?p=961 එකමත් එක රටක රජ කෙනෙක් හිටියා. මේ රජතුමාට දරුවන් හිටියේ නෑ.
ඉතින් මේ ගැන බොහෝම දුකින් හිටපු රජතුමා තමන්ගෙන් පස්සේ රජකම
දෙන්නෙ කාටද කියලා නිතරම කල්පනා කළා.
එක දවසක් මේ රජතුමාට හොඳ අදහසක් ආවා. මේ රජතුමා තීරණය කළා රටේ
අනාගත රජතුමා වෙන්න දරුවෙක් හදාගන්න ගන්න. ඉතින් රජතුමා ඒ රටේ
ඉන්න අවුරුදු අටේ දහයේ පිරිමි දරුවන්ට තමන්ගේ දෙමව්පියන් එක්ක පහුවදා
උදේම මාලිගාවට එන්න කියලා පණිවිඩයක් රටපුරා යැව්වා.
ඊළඟ දවසේ උදේ ඉතා කුතුහලයට පත් වුණු දෙමව්පියන් තමන්ගෙ පිරිමි දරුවන්
අරගෙන රජවාසලට පැමිණියා. ඒ ආපු සියලුම පිරිමි ළමයින්ට රජතුමා එක පුංචි
මල් ඇටයක් ගානේ බෙදලා දීලා ඔවුන්ට එය ගෙදර ගිහින් මල් පෝච්චියක පැළ
කරන්න කිව්වා. ආයෙත් විශේෂ දවසක ඒ පැළ කරපු ලස්සන මල් පැළත් අරන්
මාළිගාවට එන්න කිව්වා.
කාලෙකට පස්සේ, මල් පිපෙන කාලේට රජතුමා සියලුම ළමයින්ට අර හිටවපු
මල් පැළයත් අරගෙන රජවාසලට එන්න කියලා ආපහු පණිවිඩයක් යැව්වා. හිස්
මල් පෝච්චියක් අරන් ආපු එක ළමයෙක් ඇරුනම අනිත් හැමෝම ලස්සනට
පිපුණු මල් පෝච්චි අරන් ඇවිත් තිබුණා.
රජතුමා ඒ දරුවාගෙන් ඇයි ඔහුගේ මල් පෝච්චියේ විතරක් පැළයක් නැත්තේ
කියලා ඇහුවා.
“රජතුමනි, මං ඔබතුමා දුන්නු මල් ඇටය මේ බඳුනේ හිටවලා හැමදාම වතුර
දැම්මා, හොඳින් රැක බලා ගත්තා. ඒත් මල් ඇටේ පැලවුණේ නැහැ. මගේ
දෙමව්පියන් කිව්වා බලාපොරොත්තු තියාගන්න, හැමදාම පැළේට සාත්තු කරන්න
කියලා. මම මේ දැනුත් බලන් ඉන්නේ මේ මල් ඇටේ පැළවෙයි කියලයි.” දරුවා
දුකින් උත්තර දුන්නා.
දරුවාගේ අතින් අල්ලගත්ත රජතුමා හැමෝටම ඇහෙන විදියට මෙහෙම කිව්වා.
“ඔයාලා හැමෝම මාව සතුටු කරන්න ලස්සනට පිපුණු මල් පැල අරන් ආවා. ඒත්
මම දන්නවා මේ පැල එකක්වත් මම එදා ඔයාලට දුන්න මල් ඇට වලින් පැළ වුන
ඒවා නෙවෙයි කියලා. මොකද මං හැමෝටම දුන්නේ උණු වතුරෙ තම්බපු මල්

ඇට. ඒ නිසා ඒවා පැළවෙන්න විදිහක් නෑ. මේ දරුවා සහ ඔහුගේ දෙමව්පියන්
අවංකයි. ඔවුන් ඔයාලා වගේ වෙන මල් ඇටයක් ඒ වෙනුවට පැල කරලා
ගෙනාවේ නෑ.”
රජතුමා තවත් ඒ දරුවා වර්ණනා කර ඔහුගේ අවංකකම නිසා ඔහුව රටේ
අනාගත රජතුමා විදිහට දරුකමට හදා ගන්නා බව රට වැසියන්ට දැනුම් දුන්නා.
අනිත් දරුවන් සහ දෙමව්පියන් ඔවුන්ගේ වංකබව ගැන ලැජ්ජා වුණා.
එදා ඉඳන් අර අවංක දරුවා සහ ඔහුගේ දෙමව්පියන් අවංක වීමේ වටිනාකම
පෙන්වා දෙමින් ඉතා සතුටින් මාළිගාවේ ජීවත් වුණා.

0:00
]]>
වෙළෙන්දා සහ බූරුවා https://slfolktales.com/%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b7%99%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%8f-%e0%b7%83%e0%b7%84-%e0%b6%b6%e0%b7%96%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%8f/ Tue, 03 Dec 2024 18:15:16 +0000 https://slfolktales.com/?p=955 එකමත් එක කාලෙක කපටි වෙළෙන්දෙක් සිටියා. ඔහු මේ වෙළඳාම් කරන්න රට වටේ ගියේ ඔහුගේ
ප්‍රියතම බූරුවත් එක්ක. මේ වෙළෙන්දා තමන්ගේ වෙළදාමට බඩු පටවගෙන ගියේ ඒ බූරුවාගේ පිටේ.
මේ ගමන් අතරමග මහන්සිය නිවාගන්න නතර වුණු වෙලාවට මේ වෙළෙන්දා පොඩි කපටි වැඩක් කරන්න
පුරුදු වෙලා හිටියා. ඒ තමයි මේ වෙළෙන්දා තමන්ගෙ බූරුවා භයානක සිංහයෙක් කියලා පේන්න බූරුවට
සිංහ හමක් පොරවනවා. ඉතින් මේ සිංහ හම පොරව ගත්ත බූරුවා දැක්ක මිනිස්සු සිංහයෙක් කියලා
රැවටිලා කොයි වෙලාවකවත් බූරුවාට කිට්ටු වෙන්නෙ නෑ.
ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කපටි වෙළෙන්දා තමන්ගෙ බූරුවාට හිතේ හැටියට අනුන්ගේ
වගාවන්වලට ගිහින් රසට ඒ වගාවන් කන්න ඉඩ දුන්නා.
මේ විදිහට බඩ පුරවගත්ත බූරුවා ආපහු ආවහම වෙළෙන්දා සිංහ හම ගලවලා ආපහු බූරුවාගේ පිටේ බඩු
පටවගෙන තමන්ගේ ගමන යනවා.
මේ විදිහට දිගටම වෙළෙන්දායි බූරුවයි මේ වැඩේ පුරුද්දක් විදිහට කරගෙන ගියා. ඔන්න එක දවසක් එක
ගමකදි මේ අපූරු සිංහයා කුඹුරුක ඉන්නවා දැකපු මිනිස්සු බයේ දුවන්න ගත්තා.
ඒ ගමේ හිටපු එක නුවණක්කාර මනුස්සයෙක් දුවන මිනිස්සු නතර කරලා එයාලගෙන් දුවන්නෙ මොකද
කියලා ඇහුවා. විස්තරය කල්පනාවෙන් අහගත්ත නුවණක්කාර මනුස්සයාට තේරුණා මෙතන මොකක් හරි
වරදක් තියෙන බව. මොකද සිංහයෝ ගොයම් කන්නේ නෑනේ.
නුවණක්කාරයා ගමේ මිනිස්සු ඔක්කොම එක් කරගෙන කුඹුරට ගියා. ටිකක් මේ සිංහයාට කිට්ටු කරලා
බලපු නුවණක්කාර මනුස්සයාට මේ සිංහයාගේ පොඩි අමුත්තක් පෙනුනා.
ඉතින් මේ නුවණක්කාර මනුස්සයා ඈත ඉඳන් සිංහයාට ගලකින් දමලා ගැහුවා. හැමෝම පුදුම කරමින් සිංහ
ගර්ජනාවක් වෙනුවට ඔවුන්ට ඇහුණේ බූරුවෙකුගේ බෙරිහන් දීමක්. එතකොට හැමෝටම තේරුණා මේක
කාගේ හරි කපටි වැඩක් කියලා.
ගමේ කවුරුත් සිංහයාට තිබ්බ බය නැතිවෙලා බූරුවා ළඟට ගිහින් ඌ අල්ලගෙන තමන්ගේ භාරයට ගත්තා.
අනේ ඉතින් අර වෙළෙන්දාගේ කපටිකම අහු වුණු නිසා ඔහුට ඔහුගේ ප්‍රියතම බූරුවා සදහටම
නැතිවුණා. කොච්චර දක්ෂ විදිහට කපටි වැඩ කළත් කවදාහරි ඇත්ත හෙළි වෙනවා. එතකොට තමන්ට
පාඩුවක් මිස ලාභයක් වෙන්නෙ නෑ.

0:00
]]>
අම්මාගේ අවවාදය https://slfolktales.com/%e0%b6%85%e0%b6%b8%e0%b7%8a%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%85%e0%b7%80%e0%b7%80%e0%b7%8f%e0%b6%af%e0%b6%ba/ Tue, 03 Dec 2024 18:11:10 +0000 https://slfolktales.com/?p=950 එකමත් එක කාලෙක කැළයක් ළඟ පුංචි ගෙදරක අම්මෙකුයි එයාගේ දඟකාර
පුතයි ජීවත් වුණා. මේ පුතා හැමවෙලාවෙම කැළේට යනවා ඇවිදින්නයි පළතුරු
කන්නයි. ටික කාලෙකට පස්සෙ මේ ගමේ අය කතා වුණු කැළේ ඉන්න දරුණු
කොටියෙක් ගැන. ඉතින් හැමදාම කැළේට යන පුතාට ආයේ කැළේට යන්න එපා
කියලා අම්මා අවවාද කළා.
අම්මා කොච්චර අවවාද කළත්, මේ හිතුවක්කාර දරුවා හැමදාම කැළේට ගියා.
එක දවසක් හොඳටම තරහා ගියපු අම්මා පුතාට මෙහෙම කිව්වා.

“මම කියන දේ අහන්නෙ නැතුව කැළේට යන තෝ කොටියම කාපිය” කියලා
කිව්වා.
කිසිම දෙයක් ගනන් ගන්නෙ නැති හිතුවක්කාර පුතා පුරුදු විදිහටම කැළේට
ගියා.
ටික දුරක් කැළේ ඇතුළට යනකොට මේ පුතාට පඳුරු සෙලවෙන සද්දෙ ඇහෙන්න
ගත්තා. ඒත් එක්කම එක පාරට මහ විශාල කොටියෙක් ඔහු ඉස්සරහට ආවා.
හොඳටම බය වුණු පුතාට අම්මා කියපු වචන මතක් වුණා. පුතා කොටියාගෙන් .
“අනේ කොටි රාළේ, මාව කන්න හදන්නෙ අපේ අම්මා කියපු නිසා නම් ඒක
කරන්න එපා. මම පොරොන්දු වෙනවා මීට පස්සෙ හැමදාම අම්මා කියන දේ
අහන්න.” කියලා ඉල්ලා හිටියා.
පුදුමය කියන්නේ ඒ කියපු ගමන්ම කොටියා ආපහු හැරිලා හිමිහිට කැලේ
ඇතුළට ගියා.
ඉක්මනට ආපහු ගෙදර ගිය පුතා අම්මට වැඳලා සමාව අරන් පොරොන්දු වුනා
ආයේ කවදාවත් අම්මට අකීකරු වෙන්නේ නෑ කියලා.
එදා ඉඳන් තමන්ගේ අම්මගේ අවවාද පිළි ගන්නත්, අම්මගේ නුවණැතිබවට ගරු
කරන්නත් දරුවා ඉගෙන ගත්තා.

0:00
]]>
හොරා සහ පුහුල් ගෙඩිය https://slfolktales.com/%e0%b7%84%e0%b7%9c%e0%b6%bb%e0%b7%8f-%e0%b7%83%e0%b7%84-%e0%b6%b4%e0%b7%94%e0%b7%84%e0%b7%94%e0%b6%bd%e0%b7%8a-%e0%b6%9c%e0%b7%99%e0%b6%a9%e0%b7%92%e0%b6%ba/ Tue, 03 Dec 2024 18:08:10 +0000 https://slfolktales.com/?p=945 එකමත් එක කාලෙක කුඩා ගමක කරුණාවන්ත ගොවි මහතෙක් ජීවත් වුණා. ඔහුගේ කරුණාවන්තකමත්,
වගාවේ දක්ශකමත් නිසා ඔහු ගමේ හරිම ප්‍රසිද්ධයි.
එක කන්නයක ඔහු තීරණය කළා විශේෂ එළවලුවක් වගා කරන්න. ඒ තමයි අළු පුහුල්.
ටික කාලෙකින් ඔහුගේ මහන්සියට ප්‍රතිඵල ලැබුණා. ඔහුගේ අළු පුහුල් වගාව ඉතා සාරවත් වුණා.
ඉක්මනින්ම ඒ වගාවේ කවුරුත්ම මෙච්චර කාලෙකට දැකලා නැති, කරත්තයක් පුරවන්න පුලුවන් තරමේ
ලොකුම ලොකු පුහුල් ගෙඩියක් හැදුනා.
මේ ගැන ගොවි මහතා හිටියේ ගොඩක් සතුටින්.
අවාසනාවකට එක දවසක උදේ ගොවි මහත්තයා වගාබිමට එනකොට ඔහුගේ අර ලොකු පුහුල් ගෙඩිය
කවුරු හරි හොරකම් කරලා. ලොකු පුහුල් ගෙඩිය තිබුණු තැන හිස් වෙලා තියෙනවා දැක්ක ගොවි
මහත්තයා ගොඩාක් දුක් වුණා.
මේ ගැටළුව විසඳන්න හිතපු ගොවි මහත්තයා මේ ගැන ගමේ ප්‍රධානියා වුණූ ගම්මුලාදෑනියාට
පැමිණිල්ලක් කළා.
ටික වේලාවක් කල්පනා කරපු නුවණක්කාර ගම්මුලාදෑනියා මෙහෙම කිව්වා.
“බය වෙන්න එපා ගොවි මහත්තයෝ. මට හොඳ උපායක් කල්පනා වුණා.”
ඔහු ගොවි මහත්තයත් එක්ක එකතු වෙලා ගමේ සියලුම මිනිස්සුන්ව ගමේ පිට්ටනියකට කැඳෙව්වා.
ඉන්පසු මේ සොරකම ගැන ගමේ මිනිසුන් දැනුවත් කළා.
“පුහුල් හොරා කරෙන් දැනේ. හොරා කවුරු උනත් මේ වගේ විශාල පුහුල් ගෙඩියක් ඔහු ඔසවන් යන්න
ඇත්තෙ කරේ තියාගෙන. ඉතින් පුහුල් ගෙඩිය හොරකම් කළේ කවුද කියලා අපිට හොරාගේ කරේ ගෑවිලා
තියෙන පුහුල් අළුවලින් දැනගන්න පුළුවන්. දැන් අපි හැමෝගෙම උරහිස බලලා හොරා කවුද කියලා
හොයාගමු.” ගම්මුලාදෑනියා කිව්වා.

ගමේ මිනිස්සු හැමෝම වගේ කසුකුසු ගාමින් වටපිට බලන්න පටන් ගත්තා. එතකොටම ඒ සෙනග අතර
හිටපු බියගුලු මනුස්සයෙක් හරි කලබලෙන් තමන්ගේ උරහිස පිහ දාන්න පටන් ගත්තා. හොඳ විමසිල්ලෙන්
සෙනග දිහා බලන් හිටපු ගම්මුලාදෑනියා ගමේ මිනිස්සු පුදුම කරමින් පහසුවෙන්ම හො‍රාව අල්ල ගත්තා.

අවසානයේ දඬුවමක් වශයෙන් හොරාට ගොවි මහත්තයාගේ වගාවට අත් උදව් දෙමින් මහන්සි වී වැඩ
කිරීමෙත් අවංක වීමෙත් වටිනාකම තේරුම් ගන්න අවස්තාවක් ලබා දුන්නා.

0:00
]]>
උගත් පාඩම https://slfolktales.com/%e0%b6%8b%e0%b6%9c%e0%b6%ad%e0%b7%8a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%a9%e0%b6%b8/ Sun, 17 Nov 2024 16:07:38 +0000 https://slfolktales.com/?p=912 එකමත් එක කාලෙක නිලට නිලේ වතුර පිරුණු විලක් ළඟ වයසක කොක්කු
දෙන්නෙක් සහ පුංචි ඉබ්බෙක් ඉතා සතුටෙන්, සැපපහසුවෙන් ජීවත් වුණා.


අවාසනාවකට දරුණු නියඟයක් ඇවිත් මේ තුන්දෙනාගේ සැපපහසු ජීවිතවලට
බාධා කරමින් අර දියපිරුණු විල සම්පූර්ණයෙන්ම හිඳෙන්න පටන් ගත්තා.
කෑම බීම හිඟ උණු නිසා තවත් මේ විල ළඟ ජීවත්වීමට බැරි බවත් තමන්ට
ඉක්මනින්ම අලුත් නිවහනක් හොයාගන්න වෙන බවත් කොක්කු දෙන්නාට
තේරුම් ගියා.


දවසක් ඔවුන් හොඳින් වතුර තියෙන ප්‍රදේශයක් සොයා ඉගිලී ගියා.
මෙහෙම ටික දවසක් පියාඹලා ලස්සන සාරවත් ප්‍රදේශයක් සොයා ගත්ත
කොක්කු දෙන්නා හරිම සතුටින් තමන්ගේ පුංචි ඉබි යාලුවා එක්කන් යන්න ආපහු
ආවා.


එයාලා හොයා ගත්ත අලුත් නවාතැනේ ලස්සන ගැන අහන් හිටපු පුංචි ඉබ්බා
එකපාරම හයියෙන් අඬන්න පටන් ගත්තා. “මම කොහොමද ඔයාලා එක්ක ඒ
ලස්සන විලට යන්නෙ. මට ඉගිලෙන්න බෑනේ. අනේ මාව දාලා යන්න නම් එපා.”
ඉබි යාලුවා අඬමින් කිව්වා.


වැඩිහිටි කොක්කු දෙන්නා තමන්ට ඒ ගැන හොඳ සැලසුමක් තියෙන බව කියලා
ඉබි යාලුවාව සැනසුවා.


“අපි තුන්දෙනා හැමදාමත් ජීවත් උනේ එකට. අපි හොඳම යාළුවෝ. බය වෙන්න
එපා. අපි ළඟ තියෙනවා හොඳ අදහසක් ඔයාව අලුත් තැනට අරන් යන්න.”
පුංචි ඉබ්බා හුඟාක් සතුටු වුණා. කොක්කු දෙන්නා එයාලගේ සැලසුම ඉබ්බාට
පැහැදිලි කරන්න පටන් ගත්තා.


“ මුලින්ම අපි දෙන්නා හොඳ හයිය කොටුවක් හොයාගන්නවා. ඒ කෝටුවේ
කොන් දෙක අපි අපේ හොටෙන් හයියෙන් අල්ලගන්නවා. ඔයා කෝටුවේ මැද
කටින් තද කරලා අල්ලගන්න. එතකොට අපිට පුලුවන් ඔයාවත් අරගෙන අලුත්
විලට පියාඹලා යන්න. අලුත් නවාතැනට යන්න ඉවසීමක් නැති පුංචි ඉබ්බාත්
අදහසට ගොඩක් කැමති වුණා.

“ඒත් මේක බොහොම අවදානම් ගමනක් නිසා ඔයා අපිට පොරොන්දු වෙන්න ඕනා
මොනම හේතුවක් නිසාවත් අපි අහසේ ඉගිලෙන කොට ඔයාට කට අරින්නෙ නෑ
කියලා. ගොළුවෙක් වගේ ඉන්න ඕන නැත්නම් ඔයා පහලට වැටිලා ලොකු
අනතුරක් වෙන්න පුළුවන්.” කොක්කු දෙන්නා ඉබ්බට අවවාද කරළා මේ උපදෙස්
පිළිපදින්න පොරොන්දු කරවා ගත්තා.


තමන්ගේ ගමන් මලු වගේම බලාපොරොත්තුත් පොදි බැදන් තුන්දෙනාම ගමන
යන්න පිටත් වුණා.


ගමන පටන් ගන්න කලින් කොක්කු දෙන්නා ආයෙමත් පුංචි ඉබ්බාට අවවාදය
මතක් කළා. පුංචි ඉබ්බා හිස වනා නැවත අවවාදය පිළිගත්තා.


ටික දුරක් මේ විදිහට අහසින් යන ඉබ්බාට සතුට වැඩිකමට කොක්කු දෙන්නා
දුන්න අවවාදය අමතක වුණා. අර ලස්සන විලට තව ගොඩක් දුර යන්න
තියනවද අහන්න කට ඇරිය ඉබ්බා වේගයෙන් බිමට වැටුනා.


මේ අනතුරෙන් කොක්කු දෙන්නා ගොඩාක් කම්පාවට පත් වුණා.


දුක්බර හදවතින් තමන්ගේ ආදරණීය ඉබි යාලුවාගේ මතකය විතරක් අරන්
අලුත් නවාතැනට ගිය කොක්කු දෙන්නා එතනදි හමුවුණු අලුත් යාලුවන්ට මේ
ගමනෙන් ඉගෙන ගත්ත පාඩම නිතරම මතක් කළා.

0:00
]]>
රයිගමයයි ගම්පලයයි https://slfolktales.com/%e0%b6%bb%e0%b6%ba%e0%b7%92%e0%b6%9c%e0%b6%b8%e0%b6%ba%e0%b6%ba%e0%b7%92-%e0%b6%9c%e0%b6%b8%e0%b7%8a%e0%b6%b4%e0%b6%bd%e0%b6%ba%e0%b6%ba%e0%b7%92/ Sun, 17 Nov 2024 15:53:07 +0000 https://slfolktales.com/?p=905 ඔන්න එකෝමත් එක කාලෙක ජීවත් වුණා කපටි ඒ වගේම හරිම මෝඩ මිනිස්සු
දෙන්නෙක්. එක්කෙනෙක් රයිගමයා. අනෙක් එක්කෙනා ගම්පලයා. දවසක්
අතරමගදි මුණ ගැහුණු මේ දෙන්නා මෙහෙම කතා වුණා.


“අපි දෙන්නා එකතු වෙලා වෙලඳාමක් කරන්න පටන් ගමුද?” ගම්පළයා ඇහුවා.


“ඒක හොඳ අදහස. ඒත් අපි මොනවාද වෙළඳාම් කරන්නේ?” රයිගමයා කිව්වා.


“අපි ඔය වත්ත පිටියේ තියෙන මොනවහරි එකතු කරන් පොළට ගිහින්
විකුණමු.” ගම්පළයා උත්තර දුන්නා.


තමන්ගේ අලුත් ව්‍යාපාරය ගැන හරිම උනන්දුවෙන් මේ දෙන්නා තමන් වෙළඳාම්
කරන බඩු එකතු කරන්න පිටත් වුණා.


ගෙදර ගියපු රයිගමයා ගෝනියක් පිරෙන්න පුවක් ගෙඩිවලට සමාන පෙනුමක්
තියෙන කිතුල් ඇට අහුලගෙන ආවා. මේ අතරේ ගම්පලයා බුලත් කොළ වගේම
පෙනුම තියෙන ගම්මිරිස් කොළ කඩලා ගෝනියක් පුරවා ගත්තා.

පොළට යන්න ගොඩාක් දුර නිසා මේ දෙන්නා හවසම ගමන පටන් ගත්තා.
“යාලුවේ මොනවද ඔයා වෙළඳාම් කරන්න ගෙනාවේ?” ඒ යන මගදි ගම්පලයා
ඇහුවා.
“මම මේ හොඳ පුවක් ටිකක් හොයා ගත්තා..” රයිගමයා ආඩම්බරෙන් උත්තර
දුන්නා.
“මමත් මේ හොඳ බුලත් කොළ ටිකක් ගෙනාවා.” ගම්පළයා කිව්වා.


මෙහෙම ටික දුරක් යනකොට හොඳටම රෑ වුණු නිසා දෙන්නම අම්බලමක නතර
වුණා. දෙන්නම මහන්සි නිසා හොඳට නිදා ගත්තා.

උදේ පාන්දර ඇහැරුණු ගම්පලයා, තවම නිදාගෙන ඉන්න රයිගමයගේ පුවක්
ගෝනිය දැකලා මෙහෙම හිතුවා. “මම මගේ ගම්මිරිස් කොළ වෙනුවට මේ
ගෝනිය අරන් පොළට යනවා”.


ඊට ටික වෙලාවකට පස්සෙ ඇහැරුණු රයිගමයා ගම්පලයාගේ බුලත් ගෝනිය
දැකලා මෙහෙම හිතුවා, “මගේ වාසනාවට ගම්පලයා බුලත් ගෝනිය තියලා ගිහින්.
මම මේක පොළට අරන් යනවා”.

ඉතින් පොළට ගියපු ගම්පලයා පොළේ හිටපු මුදලාලිට තමන් හොඳ පුවක්
ගෝනියක් ගෙනා බවත් ඒවාට හොඳ මිලක් දෙන ලෙසත් කිව්වා. ඒත් පුවක්
ගෝනිය ලෙහලා බලනකොට ගෝනිය පිරෙන්න තිබ්බේ කිතුල් ඇට. ගම්පලයා
ගොඩාක් ලැජ්ජාවට පත් වුණා.


බුලත් විකුණන්න ගියපු රයිගමයාටත් වුනේ ඒ දේමයි.

අන්තිමට ඒ දෙන්නම අනිත් කෙනාව රවටන්න ගිහින් තමන්ම රැවටුණා. ඕනම
දෙයක් හැමවෙලාවකම අවංකව කරන්න ඕනා කියලා ඒ දෙන්නා ඉගෙන ගත්තා.

0:00
]]>
සමගිය බලය වේ https://slfolktales.com/%e0%b7%83%e0%b6%b8%e0%b6%9c%e0%b7%92%e0%b6%ba-%e0%b6%b6%e0%b6%bd%e0%b6%ba-%e0%b7%80%e0%b7%9a/ Sun, 17 Nov 2024 15:44:15 +0000 https://slfolktales.com/?p=900 එකමත් එක කාලෙක ලස්සන ගමක ගොවි පවුලක් ජීවත් වුණා. මේ ගමරාළටයි ගම හාමිනේටයි ලස්සන
දරුවෝ පස් දෙනෙක් හිටියා. හරිම සතුටින් ජීවත් වුණ මේ පවුලේ දෙමව්පියන්ට තිබුණු එකම ප්‍රශ්නය
වුණේ දරුවන් පොඩි දේටත් රණ්ඩු සරුවල් වීමයි. කාලයක් යද්දි වයසින් ටිකක් වැඩිමහල් උනත් මේ
දරුවන්ගේ රණ්ඩු සරුවල් නම් නතර වුණේ නෑ. මේ ගැන දෙමව්පියන් හිටියේ හරිම දුකින්.


එක දවසක් තාත්තාට තමන්ගේ දරුවන්ගේ මේ අසමගිය නැති කරන්න හොඳ අදහසක් පහළ වුණා.


දරුවන් හැමෝටම කතා කරපු තාත්තා දරුවන් පස්දෙනාට අලුත් සෙල්ලමක් යෝජනා කළා.


“අපි අද අලුත් සෙල්ලමක් කරමු. තාත්තා හිනා වෙලා කිව්වා. “ඔයාලා ඔක්කොම කැළේට ගිහින්
එක්කෙනෙක් දර කෝටු දෙක ගානේ අරන් එන්න කියලා.”


දරුවෝ හැමෝම හරිම උනන්දුවෙන් ඉක්මනින් දර කෝටු දෙක බැගින් අරන් ආවා.
හැමෝම ආවට පස්සේ තාත්තා මෙහෙම උපදෙස් දුන්නා.


“හරි. දැන් ඉතින් එක්කෙනා එක දර කෝටුව ගානේ අතට ගන්න” ඔහු කිව්වා.


දරුවන් හැමෝම තාත්තා කිව්ව විදිහට දර කෝටුව ගානේ අතට ගත්තා.


“දැන් ඔයාලා තම තමන්ගේ අතේ තියන දර කෝටුව දෙකට කඩන්න” තාත්තා කිව්වා.


දරුවන් හැමෝම හරිම ලේසියෙන් තම තමන්ගේ අතේ තිබුණු තනි දර කෝටුව දෙකට කඩා දැම්මා.


“හරි. දැන් ඉතිරි දර කෝටු පහම තියලා මිටියක් බඳින්න.” තාත්තා නැවත දරුවන්ට උපදෙස් දුන්නා.


දරුවෝ ටික එකතු වෙලා ඉතිරි දරකෝටු පහ එක මිටියකට බැන්දා.


“ඔන්න දැන් අපි බලමු ඔයාලගෙන් කාටහරි මේ දර මිටිය කඩන්න පුළුවන් වෙයිද කියලා..” තාත්තා
අභියෝග කළා.


දරුවෝ හැමෝම තමන්ගේ උපරිම ශක්තිය යොදමින් දරමිටිය කඩන්න උත්සහ කලත් එය කරන්න
බැරිවුණා.


මේ වෙලාවේ තමන්ට ලැබුණු අභියෝගය දිනන්න බැරි වෙලා ටිකක් දුකින් හිටපු දරුවෝ ටික ළඟට ගත්ත
තාත්තා මෙහෙම කිව්වා.

“ඔයාලා හැමදාම වගේ රණ්ඩු වෙලා, වෙන්වෙලා තනි තනිව හිටියොත් අර තනි
දර කෝටුව වගේ හරිම දුර්වලයි. ඒත් ඔයාලා මේ දරමිටිය වගේ එකතු වෙලා හිටියොත් ඔයාලා හැමදාම
ශක්තිමත්. තේරුනා නේද?”.

දරුවෝ හිස වනා තමන්ගේ තාත්තාගේ වචනවල හරය පිළිගත්තා. සමගියෙන් ජීවත් වීමේ අගය තේරුම්
ගත්ත ඒ දරුවෝ පස්දෙනා එදායින් පස්සේ කවදාවත් පොඩි පොඩි දේවල්වලට රණ්ඩු වුණේ නෑ. එයාලා
බොහොම සතුටින්, සමගියෙන් ශක්තිමත් ආදරණීය පවුලක් විදිහට ජීවත් වුණා.

0:00
]]>
වඳුරාගේ පාඩම https://slfolktales.com/%e0%b7%80%e0%b6%b3%e0%b7%94%e0%b6%bb%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%8f%e0%b6%a9%e0%b6%b8/ Sun, 17 Nov 2024 15:36:26 +0000 https://slfolktales.com/?p=895 එකමත් එක කාලෙක එක ගෙදරක බළලුන් දෙදෙනෙක් ජීවත් වුණා.

ඒ දෙන්නා හොඳම යාලුවෝ උනත් කවදාවත් සමගියෙන් දෙයක් බෙදා හදා ගන්න පුරුදු වෙලා
හිටියේ නෑ.

මෙහෙම ඉන්නකොට දවසක් මේ දෙන්නට කැවුම් ගෙඩියක්
හම්බවුනා.


ඔන්න ඉතින් හැමදාම වගේ මේ දෙන්නට මේ කැවුම බෙදාගන්ඩ බැරුව දෙන්නා
වාදයකට පැටලුනා.


මේ වෙලාවේ බළලුන්ගේ ගෙදර ළඟින් වෙන ගමනක් යන රිළවෙක්ට මේ
දෙන්නාගේ වාදය ඇහුණා. තමන්ගේ ගමන නවත්තපු රිළවා බළලුන් දෙන්නා
ළඟට ආවා.


“මොකද මේ යාළුවො දෙන්නා මහ හයියෙන් වාද කරන්නේ?” රිළවා ඇහුවා.


“මේක මගේ කැවුම. මෙයා කියනවා ඒක එයාගේ කියලා.” එක බළලෙක් කිව්වා.


එතකොටම අනෙක් බළලා කිව්වා “නෑ ඒක මගේ” කියලා.


කපටි රිළවාට හොඳ අදහසක් පහළ වුණා. “හරි. මේක ඔයාලා දෙන්නගෙම නම්
මේක සමානව බෙදාගෙන කන එක නේද කරන්න ඕනා?” රිළවා හරිම
උනන්දුවෙන් කිව්වා.

බළලුන් දෙදෙනා ඒ කතාවට එකඟ වුණා.


“ඔයාලා කැමති නම් මට පුළුවන් මේක ඔයාලා දෙන්නට සමානව බෙදලා
දෙන්න.” රිළවා කිව්වා.


“හරි එහෙනම් ඔයා අපිට මේක සමානව බෙදලා දෙන්න.” ඔවුන් රිළවාගෙන්
ඉල්ලා සිටියා.


රිළවා කැවුම දෙකට කැඩුවා. හැබැයි එක කැවුම් කෑල්ලක් අනිකට වඩා ලොකුයි.


“අයියෝ..එක කෑල්ලක් අනිකට වඩා ලොකුයි නේ.” බළලුන් හඬා වැටුනා.


“ බලන්න එක කෑල්ලක් අනිකට වඩා ලොකුයි. දෙකම සමාන වෙන්න ඕන නිසා
ලොකු කෑල්ලෙ කොටසක් මම කනවා.” එහෙම කියපු රිලවා ලොකු කැවුම්
කෑල්ලෙන් කෑල්ලක් කෑවා.

එතකොට අනෙක් කෑල්ල ලොකුවට පෙනුනා. “ආහ්! දැන් මේ කෑල්ල ලොකුයි.
ඒක අසාධාරණයි.” කියපු රිළවා ඒ කැවුම් කෑල්ලෙනුත් කොටසක් කෑවා.


බළලුන් දෙදෙනා කර කියාගන්න දෙයක් නැතුව බලා සිටියා.


ඔහොම ඔහොම ඒ කෑල්ලෙනුයි මේ කෑල්ලෙනුයි ටික ටික කාලා රිලවා අන්තිමේ
කැවුම් කෑලි දෙකම කාලා ඉවර කරා.


අන්තිමට රිළවා මෙහෙම කිව්වා. “දැන් ඉතිං මොනවා කරන්නද? කොහොම හරි
ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක්ට වැඩිපුර ලැබුනෙවත් කාටවත් අසාධාරණයක්
වුණේවත් නෑනේ ඉතිං ඒ ගැන සතුටු වෙන්න.” එහෙම කියපු රිළවා ආපහු එයා
යන්න ආපු ගමන යන්න පිටත් වුණා.


කැවුමෙන් පොඩි කෑල්ලක්වත් කන්න බැරි වුණ බව තේරුම් ගත්ත බළල්
යාලුවෝ දෙන්නා ආයේ කවදාවත් කිසිම දෙයක් බෙදා ගන්න බැරිව රණ්ඩු
නොවෙන්න එකිනෙකාට පොරොන්දු වුණා.

එදා ඉඳලා ඒ දෙන්නා හරිම සමගියෙන් හැමදේම සමානව බෙදාහදාගෙන සතුටින් ජීවත් වුණා.

0:00
]]>