එකමත් එක රටක රජ කෙනෙක් හිටියා. මේ රජතුමාට දරුවන් හිටියේ නෑ.
ඉතින් මේ ගැන බොහෝම දුකින් හිටපු රජතුමා තමන්ගෙන් පස්සේ රජකම
දෙන්නෙ කාටද කියලා නිතරම කල්පනා කළා.
එක දවසක් මේ රජතුමාට හොඳ අදහසක් ආවා. මේ රජතුමා තීරණය කළා රටේ
අනාගත රජතුමා වෙන්න දරුවෙක් හදාගන්න ගන්න. ඉතින් රජතුමා ඒ රටේ
ඉන්න අවුරුදු අටේ දහයේ පිරිමි දරුවන්ට තමන්ගේ දෙමව්පියන් එක්ක පහුවදා
උදේම මාලිගාවට එන්න කියලා පණිවිඩයක් රටපුරා යැව්වා.
ඊළඟ දවසේ උදේ ඉතා කුතුහලයට පත් වුණු දෙමව්පියන් තමන්ගෙ පිරිමි දරුවන්
අරගෙන රජවාසලට පැමිණියා. ඒ ආපු සියලුම පිරිමි ළමයින්ට රජතුමා එක පුංචි
මල් ඇටයක් ගානේ බෙදලා දීලා ඔවුන්ට එය ගෙදර ගිහින් මල් පෝච්චියක පැළ
කරන්න කිව්වා. ආයෙත් විශේෂ දවසක ඒ පැළ කරපු ලස්සන මල් පැළත් අරන්
මාළිගාවට එන්න කිව්වා.
කාලෙකට පස්සේ, මල් පිපෙන කාලේට රජතුමා සියලුම ළමයින්ට අර හිටවපු
මල් පැළයත් අරගෙන රජවාසලට එන්න කියලා ආපහු පණිවිඩයක් යැව්වා. හිස්
මල් පෝච්චියක් අරන් ආපු එක ළමයෙක් ඇරුනම අනිත් හැමෝම ලස්සනට
පිපුණු මල් පෝච්චි අරන් ඇවිත් තිබුණා.
රජතුමා ඒ දරුවාගෙන් ඇයි ඔහුගේ මල් පෝච්චියේ විතරක් පැළයක් නැත්තේ
කියලා ඇහුවා.
“රජතුමනි, මං ඔබතුමා දුන්නු මල් ඇටය මේ බඳුනේ හිටවලා හැමදාම වතුර
දැම්මා, හොඳින් රැක බලා ගත්තා. ඒත් මල් ඇටේ පැලවුණේ නැහැ. මගේ
දෙමව්පියන් කිව්වා බලාපොරොත්තු තියාගන්න, හැමදාම පැළේට සාත්තු කරන්න
කියලා. මම මේ දැනුත් බලන් ඉන්නේ මේ මල් ඇටේ පැළවෙයි කියලයි.” දරුවා
දුකින් උත්තර දුන්නා.
දරුවාගේ අතින් අල්ලගත්ත රජතුමා හැමෝටම ඇහෙන විදියට මෙහෙම කිව්වා.
“ඔයාලා හැමෝම මාව සතුටු කරන්න ලස්සනට පිපුණු මල් පැල අරන් ආවා. ඒත්
මම දන්නවා මේ පැල එකක්වත් මම එදා ඔයාලට දුන්න මල් ඇට වලින් පැළ වුන
ඒවා නෙවෙයි කියලා. මොකද මං හැමෝටම දුන්නේ උණු වතුරෙ තම්බපු මල්
ඇට. ඒ නිසා ඒවා පැළවෙන්න විදිහක් නෑ. මේ දරුවා සහ ඔහුගේ දෙමව්පියන්
අවංකයි. ඔවුන් ඔයාලා වගේ වෙන මල් ඇටයක් ඒ වෙනුවට පැල කරලා
ගෙනාවේ නෑ.”
රජතුමා තවත් ඒ දරුවා වර්ණනා කර ඔහුගේ අවංකකම නිසා ඔහුව රටේ
අනාගත රජතුමා විදිහට දරුකමට හදා ගන්නා බව රට වැසියන්ට දැනුම් දුන්නා.
අනිත් දරුවන් සහ දෙමව්පියන් ඔවුන්ගේ වංකබව ගැන ලැජ්ජා වුණා.
එදා ඉඳන් අර අවංක දරුවා සහ ඔහුගේ දෙමව්පියන් අවංක වීමේ වටිනාකම
පෙන්වා දෙමින් ඉතා සතුටින් මාළිගාවේ ජීවත් වුණා.