එකමත් එක කාලෙක කුඩා ගමක කරුණාවන්ත ගොවි මහතෙක් ජීවත් වුණා. ඔහුගේ කරුණාවන්තකමත්,
වගාවේ දක්ශකමත් නිසා ඔහු ගමේ හරිම ප්රසිද්ධයි.
එක කන්නයක ඔහු තීරණය කළා විශේෂ එළවලුවක් වගා කරන්න. ඒ තමයි අළු පුහුල්.
ටික කාලෙකින් ඔහුගේ මහන්සියට ප්රතිඵල ලැබුණා. ඔහුගේ අළු පුහුල් වගාව ඉතා සාරවත් වුණා.
ඉක්මනින්ම ඒ වගාවේ කවුරුත්ම මෙච්චර කාලෙකට දැකලා නැති, කරත්තයක් පුරවන්න පුලුවන් තරමේ
ලොකුම ලොකු පුහුල් ගෙඩියක් හැදුනා.
මේ ගැන ගොවි මහතා හිටියේ ගොඩක් සතුටින්.
අවාසනාවකට එක දවසක උදේ ගොවි මහත්තයා වගාබිමට එනකොට ඔහුගේ අර ලොකු පුහුල් ගෙඩිය
කවුරු හරි හොරකම් කරලා. ලොකු පුහුල් ගෙඩිය තිබුණු තැන හිස් වෙලා තියෙනවා දැක්ක ගොවි
මහත්තයා ගොඩාක් දුක් වුණා.
මේ ගැටළුව විසඳන්න හිතපු ගොවි මහත්තයා මේ ගැන ගමේ ප්රධානියා වුණූ ගම්මුලාදෑනියාට
පැමිණිල්ලක් කළා.
ටික වේලාවක් කල්පනා කරපු නුවණක්කාර ගම්මුලාදෑනියා මෙහෙම කිව්වා.
“බය වෙන්න එපා ගොවි මහත්තයෝ. මට හොඳ උපායක් කල්පනා වුණා.”
ඔහු ගොවි මහත්තයත් එක්ක එකතු වෙලා ගමේ සියලුම මිනිස්සුන්ව ගමේ පිට්ටනියකට කැඳෙව්වා.
ඉන්පසු මේ සොරකම ගැන ගමේ මිනිසුන් දැනුවත් කළා.
“පුහුල් හොරා කරෙන් දැනේ. හොරා කවුරු උනත් මේ වගේ විශාල පුහුල් ගෙඩියක් ඔහු ඔසවන් යන්න
ඇත්තෙ කරේ තියාගෙන. ඉතින් පුහුල් ගෙඩිය හොරකම් කළේ කවුද කියලා අපිට හොරාගේ කරේ ගෑවිලා
තියෙන පුහුල් අළුවලින් දැනගන්න පුළුවන්. දැන් අපි හැමෝගෙම උරහිස බලලා හොරා කවුද කියලා
හොයාගමු.” ගම්මුලාදෑනියා කිව්වා.
ගමේ මිනිස්සු හැමෝම වගේ කසුකුසු ගාමින් වටපිට බලන්න පටන් ගත්තා. එතකොටම ඒ සෙනග අතර
හිටපු බියගුලු මනුස්සයෙක් හරි කලබලෙන් තමන්ගේ උරහිස පිහ දාන්න පටන් ගත්තා. හොඳ විමසිල්ලෙන්
සෙනග දිහා බලන් හිටපු ගම්මුලාදෑනියා ගමේ මිනිස්සු පුදුම කරමින් පහසුවෙන්ම හොරාව අල්ල ගත්තා.
අවසානයේ දඬුවමක් වශයෙන් හොරාට ගොවි මහත්තයාගේ වගාවට අත් උදව් දෙමින් මහන්සි වී වැඩ
කිරීමෙත් අවංක වීමෙත් වටිනාකම තේරුම් ගන්න අවස්තාවක් ලබා දුන්නා.