එකමත් එක කාලෙක ලස්සන ගමක ගොවි පවුලක් ජීවත් වුණා. මේ ගමරාළටයි ගම හාමිනේටයි ලස්සන
දරුවෝ පස් දෙනෙක් හිටියා. හරිම සතුටින් ජීවත් වුණ මේ පවුලේ දෙමව්පියන්ට තිබුණු එකම ප්‍රශ්නය
වුණේ දරුවන් පොඩි දේටත් රණ්ඩු සරුවල් වීමයි. කාලයක් යද්දි වයසින් ටිකක් වැඩිමහල් උනත් මේ
දරුවන්ගේ රණ්ඩු සරුවල් නම් නතර වුණේ නෑ. මේ ගැන දෙමව්පියන් හිටියේ හරිම දුකින්.
එක දවසක් තාත්තාට තමන්ගේ දරුවන්ගේ මේ අසමගිය නැති කරන්න හොඳ අදහසක් පහළ වුණා.
දරුවන් හැමෝටම කතා කරපු තාත්තා දරුවන් පස්දෙනාට අලුත් සෙල්ලමක් යෝජනා කළා.
“අපි අද අලුත් සෙල්ලමක් කරමු. තාත්තා හිනා වෙලා කිව්වා. “ඔයාලා ඔක්කොම කැළේට ගිහින්
එක්කෙනෙක් දර කෝටු දෙක ගානේ අරන් එන්න කියලා.”
දරුවෝ හැමෝම හරිම උනන්දුවෙන් ඉක්මනින් දර කෝටු දෙක බැගින් අරන් ආවා.
හැමෝම ආවට පස්සේ තාත්තා මෙහෙම උපදෙස් දුන්නා.
“හරි. දැන් ඉතින් එක්කෙනා එක දර කෝටුව ගානේ අතට ගන්න” ඔහු කිව්වා.
දරුවන් හැමෝම තාත්තා කිව්ව විදිහට දර කෝටුව ගානේ අතට ගත්තා.
“දැන් ඔයාලා තම තමන්ගේ අතේ තියන දර කෝටුව දෙකට කඩන්න” තාත්තා කිව්වා.
දරුවන් හැමෝම හරිම ලේසියෙන් තම තමන්ගේ අතේ තිබුණු තනි දර කෝටුව දෙකට කඩා දැම්මා.
“හරි. දැන් ඉතිරි දර කෝටු පහම තියලා මිටියක් බඳින්න.” තාත්තා නැවත දරුවන්ට උපදෙස් දුන්නා.
දරුවෝ ටික එකතු වෙලා ඉතිරි දරකෝටු පහ එක මිටියකට බැන්දා.
“ඔන්න දැන් අපි බලමු ඔයාලගෙන් කාටහරි මේ දර මිටිය කඩන්න පුළුවන් වෙයිද කියලා..” තාත්තා
අභියෝග කළා.
දරුවෝ හැමෝම තමන්ගේ උපරිම ශක්තිය යොදමින් දරමිටිය කඩන්න උත්සහ කලත් එය කරන්න
බැරිවුණා.
මේ වෙලාවේ තමන්ට ලැබුණු අභියෝගය දිනන්න බැරි වෙලා ටිකක් දුකින් හිටපු දරුවෝ ටික ළඟට ගත්ත
තාත්තා මෙහෙම කිව්වා.
“ඔයාලා හැමදාම වගේ රණ්ඩු වෙලා, වෙන්වෙලා තනි තනිව හිටියොත් අර තනි
දර කෝටුව වගේ හරිම දුර්වලයි. ඒත් ඔයාලා මේ දරමිටිය වගේ එකතු වෙලා හිටියොත් ඔයාලා හැමදාම
ශක්තිමත්. තේරුනා නේද?”.
දරුවෝ හිස වනා තමන්ගේ තාත්තාගේ වචනවල හරය පිළිගත්තා. සමගියෙන් ජීවත් වීමේ අගය තේරුම්
ගත්ත ඒ දරුවෝ පස්දෙනා එදායින් පස්සේ කවදාවත් පොඩි පොඩි දේවල්වලට රණ්ඩු වුණේ නෑ. එයාලා
බොහොම සතුටින්, සමගියෙන් ශක්තිමත් ආදරණීය පවුලක් විදිහට ජීවත් වුණා.