එකමත් එක කාලෙක එක ගෙදරක බළලුන් දෙදෙනෙක් ජීවත් වුණා.
ඒ දෙන්නා හොඳම යාලුවෝ උනත් කවදාවත් සමගියෙන් දෙයක් බෙදා හදා ගන්න පුරුදු වෙලා
හිටියේ නෑ.
මෙහෙම ඉන්නකොට දවසක් මේ දෙන්නට කැවුම් ගෙඩියක්
හම්බවුනා.
ඔන්න ඉතින් හැමදාම වගේ මේ දෙන්නට මේ කැවුම බෙදාගන්ඩ බැරුව දෙන්නා
වාදයකට පැටලුනා.
මේ වෙලාවේ බළලුන්ගේ ගෙදර ළඟින් වෙන ගමනක් යන රිළවෙක්ට මේ
දෙන්නාගේ වාදය ඇහුණා. තමන්ගේ ගමන නවත්තපු රිළවා බළලුන් දෙන්නා
ළඟට ආවා.
“මොකද මේ යාළුවො දෙන්නා මහ හයියෙන් වාද කරන්නේ?” රිළවා ඇහුවා.
“මේක මගේ කැවුම. මෙයා කියනවා ඒක එයාගේ කියලා.” එක බළලෙක් කිව්වා.
එතකොටම අනෙක් බළලා කිව්වා “නෑ ඒක මගේ” කියලා.
කපටි රිළවාට හොඳ අදහසක් පහළ වුණා. “හරි. මේක ඔයාලා දෙන්නගෙම නම්
මේක සමානව බෙදාගෙන කන එක නේද කරන්න ඕනා?” රිළවා හරිම
උනන්දුවෙන් කිව්වා.
බළලුන් දෙදෙනා ඒ කතාවට එකඟ වුණා.
“ඔයාලා කැමති නම් මට පුළුවන් මේක ඔයාලා දෙන්නට සමානව බෙදලා
දෙන්න.” රිළවා කිව්වා.
“හරි එහෙනම් ඔයා අපිට මේක සමානව බෙදලා දෙන්න.” ඔවුන් රිළවාගෙන්
ඉල්ලා සිටියා.
රිළවා කැවුම දෙකට කැඩුවා. හැබැයි එක කැවුම් කෑල්ලක් අනිකට වඩා ලොකුයි.
“අයියෝ..එක කෑල්ලක් අනිකට වඩා ලොකුයි නේ.” බළලුන් හඬා වැටුනා.
“ බලන්න එක කෑල්ලක් අනිකට වඩා ලොකුයි. දෙකම සමාන වෙන්න ඕන නිසා
ලොකු කෑල්ලෙ කොටසක් මම කනවා.” එහෙම කියපු රිලවා ලොකු කැවුම්
කෑල්ලෙන් කෑල්ලක් කෑවා.
එතකොට අනෙක් කෑල්ල ලොකුවට පෙනුනා. “ආහ්! දැන් මේ කෑල්ල ලොකුයි.
ඒක අසාධාරණයි.” කියපු රිළවා ඒ කැවුම් කෑල්ලෙනුත් කොටසක් කෑවා.
බළලුන් දෙදෙනා කර කියාගන්න දෙයක් නැතුව බලා සිටියා.
ඔහොම ඔහොම ඒ කෑල්ලෙනුයි මේ කෑල්ලෙනුයි ටික ටික කාලා රිලවා අන්තිමේ
කැවුම් කෑලි දෙකම කාලා ඉවර කරා.
අන්තිමට රිළවා මෙහෙම කිව්වා. “දැන් ඉතිං මොනවා කරන්නද? කොහොම හරි
ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක්ට වැඩිපුර ලැබුනෙවත් කාටවත් අසාධාරණයක්
වුණේවත් නෑනේ ඉතිං ඒ ගැන සතුටු වෙන්න.” එහෙම කියපු රිළවා ආපහු එයා
යන්න ආපු ගමන යන්න පිටත් වුණා.
කැවුමෙන් පොඩි කෑල්ලක්වත් කන්න බැරි වුණ බව තේරුම් ගත්ත බළල්
යාලුවෝ දෙන්නා ආයේ කවදාවත් කිසිම දෙයක් බෙදා ගන්න බැරිව රණ්ඩු
නොවෙන්න එකිනෙකාට පොරොන්දු වුණා.
එදා ඉඳලා ඒ දෙන්නා හරිම සමගියෙන් හැමදේම සමානව බෙදාහදාගෙන සතුටින් ජීවත් වුණා.