ඔන්න එකෝමත් එක කාලෙක ජීවත් වුණා කපටි ඒ වගේම හරිම මෝඩ මිනිස්සු
දෙන්නෙක්. එක්කෙනෙක් රයිගමයා. අනෙක් එක්කෙනා ගම්පලයා. දවසක්
අතරමගදි මුණ ගැහුණු මේ දෙන්නා මෙහෙම කතා වුණා.
“අපි දෙන්නා එකතු වෙලා වෙලඳාමක් කරන්න පටන් ගමුද?” ගම්පළයා ඇහුවා.
“ඒක හොඳ අදහස. ඒත් අපි මොනවාද වෙළඳාම් කරන්නේ?” රයිගමයා කිව්වා.
“අපි ඔය වත්ත පිටියේ තියෙන මොනවහරි එකතු කරන් පොළට ගිහින්
විකුණමු.” ගම්පළයා උත්තර දුන්නා.
තමන්ගේ අලුත් ව්‍යාපාරය ගැන හරිම උනන්දුවෙන් මේ දෙන්නා තමන් වෙළඳාම්
කරන බඩු එකතු කරන්න පිටත් වුණා.
ගෙදර ගියපු රයිගමයා ගෝනියක් පිරෙන්න පුවක් ගෙඩිවලට සමාන පෙනුමක්
තියෙන කිතුල් ඇට අහුලගෙන ආවා. මේ අතරේ ගම්පලයා බුලත් කොළ වගේම
පෙනුම තියෙන ගම්මිරිස් කොළ කඩලා ගෝනියක් පුරවා ගත්තා.
පොළට යන්න ගොඩාක් දුර නිසා මේ දෙන්නා හවසම ගමන පටන් ගත්තා.
“යාලුවේ මොනවද ඔයා වෙළඳාම් කරන්න ගෙනාවේ?” ඒ යන මගදි ගම්පලයා
ඇහුවා.
“මම මේ හොඳ පුවක් ටිකක් හොයා ගත්තා..” රයිගමයා ආඩම්බරෙන් උත්තර
දුන්නා.
“මමත් මේ හොඳ බුලත් කොළ ටිකක් ගෙනාවා.” ගම්පළයා කිව්වා.
මෙහෙම ටික දුරක් යනකොට හොඳටම රෑ වුණු නිසා දෙන්නම අම්බලමක නතර
වුණා. දෙන්නම මහන්සි නිසා හොඳට නිදා ගත්තා.
උදේ පාන්දර ඇහැරුණු ගම්පලයා, තවම නිදාගෙන ඉන්න රයිගමයගේ පුවක්
ගෝනිය දැකලා මෙහෙම හිතුවා. “මම මගේ ගම්මිරිස් කොළ වෙනුවට මේ
ගෝනිය අරන් පොළට යනවා”.
ඊට ටික වෙලාවකට පස්සෙ ඇහැරුණු රයිගමයා ගම්පලයාගේ බුලත් ගෝනිය
දැකලා මෙහෙම හිතුවා, “මගේ වාසනාවට ගම්පලයා බුලත් ගෝනිය තියලා ගිහින්.
මම මේක පොළට අරන් යනවා”.
ඉතින් පොළට ගියපු ගම්පලයා පොළේ හිටපු මුදලාලිට තමන් හොඳ පුවක්
ගෝනියක් ගෙනා බවත් ඒවාට හොඳ මිලක් දෙන ලෙසත් කිව්වා. ඒත් පුවක්
ගෝනිය ලෙහලා බලනකොට ගෝනිය පිරෙන්න තිබ්බේ කිතුල් ඇට. ගම්පලයා
ගොඩාක් ලැජ්ජාවට පත් වුණා.
බුලත් විකුණන්න ගියපු රයිගමයාටත් වුනේ ඒ දේමයි.
අන්තිමට ඒ දෙන්නම අනිත් කෙනාව රවටන්න ගිහින් තමන්ම රැවටුණා. ඕනම
දෙයක් හැමවෙලාවකම අවංකව කරන්න ඕනා කියලා ඒ දෙන්නා ඉගෙන ගත්තා.