උගත් පාඩම

එකමත් එක කාලෙක නිලට නිලේ වතුර පිරුණු විලක් ළඟ වයසක කොක්කු
දෙන්නෙක් සහ පුංචි ඉබ්බෙක් ඉතා සතුටෙන්, සැපපහසුවෙන් ජීවත් වුණා.


අවාසනාවකට දරුණු නියඟයක් ඇවිත් මේ තුන්දෙනාගේ සැපපහසු ජීවිතවලට
බාධා කරමින් අර දියපිරුණු විල සම්පූර්ණයෙන්ම හිඳෙන්න පටන් ගත්තා.
කෑම බීම හිඟ උණු නිසා තවත් මේ විල ළඟ ජීවත්වීමට බැරි බවත් තමන්ට
ඉක්මනින්ම අලුත් නිවහනක් හොයාගන්න වෙන බවත් කොක්කු දෙන්නාට
තේරුම් ගියා.


දවසක් ඔවුන් හොඳින් වතුර තියෙන ප්‍රදේශයක් සොයා ඉගිලී ගියා.
මෙහෙම ටික දවසක් පියාඹලා ලස්සන සාරවත් ප්‍රදේශයක් සොයා ගත්ත
කොක්කු දෙන්නා හරිම සතුටින් තමන්ගේ පුංචි ඉබි යාලුවා එක්කන් යන්න ආපහු
ආවා.


එයාලා හොයා ගත්ත අලුත් නවාතැනේ ලස්සන ගැන අහන් හිටපු පුංචි ඉබ්බා
එකපාරම හයියෙන් අඬන්න පටන් ගත්තා. “මම කොහොමද ඔයාලා එක්ක ඒ
ලස්සන විලට යන්නෙ. මට ඉගිලෙන්න බෑනේ. අනේ මාව දාලා යන්න නම් එපා.”
ඉබි යාලුවා අඬමින් කිව්වා.


වැඩිහිටි කොක්කු දෙන්නා තමන්ට ඒ ගැන හොඳ සැලසුමක් තියෙන බව කියලා
ඉබි යාලුවාව සැනසුවා.


“අපි තුන්දෙනා හැමදාමත් ජීවත් උනේ එකට. අපි හොඳම යාළුවෝ. බය වෙන්න
එපා. අපි ළඟ තියෙනවා හොඳ අදහසක් ඔයාව අලුත් තැනට අරන් යන්න.”
පුංචි ඉබ්බා හුඟාක් සතුටු වුණා. කොක්කු දෙන්නා එයාලගේ සැලසුම ඉබ්බාට
පැහැදිලි කරන්න පටන් ගත්තා.


“ මුලින්ම අපි දෙන්නා හොඳ හයිය කොටුවක් හොයාගන්නවා. ඒ කෝටුවේ
කොන් දෙක අපි අපේ හොටෙන් හයියෙන් අල්ලගන්නවා. ඔයා කෝටුවේ මැද
කටින් තද කරලා අල්ලගන්න. එතකොට අපිට පුලුවන් ඔයාවත් අරගෙන අලුත්
විලට පියාඹලා යන්න. අලුත් නවාතැනට යන්න ඉවසීමක් නැති පුංචි ඉබ්බාත්
අදහසට ගොඩක් කැමති වුණා.

“ඒත් මේක බොහොම අවදානම් ගමනක් නිසා ඔයා අපිට පොරොන්දු වෙන්න ඕනා
මොනම හේතුවක් නිසාවත් අපි අහසේ ඉගිලෙන කොට ඔයාට කට අරින්නෙ නෑ
කියලා. ගොළුවෙක් වගේ ඉන්න ඕන නැත්නම් ඔයා පහලට වැටිලා ලොකු
අනතුරක් වෙන්න පුළුවන්.” කොක්කු දෙන්නා ඉබ්බට අවවාද කරළා මේ උපදෙස්
පිළිපදින්න පොරොන්දු කරවා ගත්තා.


තමන්ගේ ගමන් මලු වගේම බලාපොරොත්තුත් පොදි බැදන් තුන්දෙනාම ගමන
යන්න පිටත් වුණා.


ගමන පටන් ගන්න කලින් කොක්කු දෙන්නා ආයෙමත් පුංචි ඉබ්බාට අවවාදය
මතක් කළා. පුංචි ඉබ්බා හිස වනා නැවත අවවාදය පිළිගත්තා.


ටික දුරක් මේ විදිහට අහසින් යන ඉබ්බාට සතුට වැඩිකමට කොක්කු දෙන්නා
දුන්න අවවාදය අමතක වුණා. අර ලස්සන විලට තව ගොඩක් දුර යන්න
තියනවද අහන්න කට ඇරිය ඉබ්බා වේගයෙන් බිමට වැටුනා.


මේ අනතුරෙන් කොක්කු දෙන්නා ගොඩාක් කම්පාවට පත් වුණා.


දුක්බර හදවතින් තමන්ගේ ආදරණීය ඉබි යාලුවාගේ මතකය විතරක් අරන්
අලුත් නවාතැනට ගිය කොක්කු දෙන්නා එතනදි හමුවුණු අලුත් යාලුවන්ට මේ
ගමනෙන් ඉගෙන ගත්ත පාඩම නිතරම මතක් කළා.